දැන නොදැනෙන එයා
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.) අද උදේ සිදුවීමක්. සඳුදා දවස අපේ වඩාත්ම වර්ණවත් දවස. ඒ අද දවසේ වැඩසටහන තුල ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අය මෙන්ම, එහි මූලික අවස්ථාවේ සිටින අයත්, වෙනත් ස්නායුක රෝග තත්ත්ව සමඟ ජීවත්වන අයත් කියන මිශ්ර ප්රජාවක් අප සමඟ එකතු වෙන නිසා. සියළු විස්තර, යාවත්කාලීන සෞඛ්ය සහ හැසිරීම් පිළිබඳ තොරතුරු කියවල සූදානම් වෙලා, ටිකක් එළියට වෙලා හිටියේ අද හරිම ලස්සන දවසක් වුනු නිසා. පහුගිය කාලේ තිබුණු සීතල නැති වෙලා , හිම දියවෙලා අපූරු ලස්සන උදෑසනක් , කුරුළු කිචිබිචියත් එක්කම ඇවිත් තිබුණා. ලොකු කලබලයකුත් නැති එකේ සිංදුවක් එහෙම අහගෙන ඉන්න අතරේ අපේ එක් සේවාලාභිනියක් ආයතනයට ගොඩවැදුනා. ඒ ආවේ, එයාගේ සැමියා එක්ක, (මතක විදියට අවුරුදු පනස් ගණනක විවාහ සංවත්සරයත් ළඟදි සැමරුවා). එළියේ වාඩිවෙලා ඉන්න මා දැක්ක ඇය, ගොඩනැගිල්ල ඇතුලට යනවා වෙනුවට මා වෙතට ආවා. "එහෙම නම් ඔක්කොම හරිනේ, මම එන්නම් ...