වැස්ක්යුලර් ඩිමෙන්ෂියාව VaD
අද කතාව නම් ඇත්තටම කෙටියි, මොකද මේ ඩිමෙන්ෂියා තත්ත්වයේදීත් පෙර කී සාධක බොහොමයක් පොදුයි. කෙසේ වෙතත්, අද මේ කතාවට මාතෘකා කරගන්න මගේ සේවාලාභියා තුල VaD සඳහා පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. ඇය අනීටා, අනෙක් සේවාලාභීන් සමඟ සැසඳුවාම වයසින් තරමක් අඩු වියැති කෙනෙක්. "අපි මෙහෙම තත්ත්වයක් මෙයාට තියෙනව කියල දැන ගන්නේ අවුරුදු හැටේ බර්ත්ඩේ එකට තිබුණූ උත්සවේට ආපු අපේ ලොකු පුතා නිසා. එදා උපන්දිනේ උත්සවේ දවසේ මෙයාගේ කතාව හරි අමුතුයි කියල, චෙකප් එකක් කරමු කියල ලොකු පුතා යෝජනා කළා, එතැනදි තමයි මුල්ම සැකේ ආවේ" දවසක්, අනීටගේ මහත්තයා, Life story පෝරමය පුරවන අතරේ කීවා. TIA සහ හඳුනාගැනීම පසුව කළ විමසීම් වලදි දැන ගන්නට ලැබුණා, ඇයට අවස්ථා කිහිපයක TIA එහෙම නැත්නම් Transient Ischemic Attack කියන පැය කිහිපයක් පවතින පොඩි ස්ට්රෝක් එකක් වගේ තත්වයන් අවස්ථා දෙක තුනකදි ඇති වෙලා තිබුණා. "අපි ඒවට බෙහෙත් ගන්න ගමන් හිටියේ, ඔය කෝවිඩ් ආපු අවුරුද්දේ මෙයාට මෙක්සිකෝ යන්න ඕන කියලා, ගිය ගමනෙදි තමයි මේ ස්ට්රෝක් එක ආවේ" අනීටගේ මහත්තයා ඇගේ අත අල්ලගෙනම කියවගෙන ගියා. අනීටා කට පැත්තකට ඇද වෙන්න පුංචි හිනාවක් ද...